අපගේ දැක්ම
"ඵලධායි, සුහදශීලී හා තිරසාර සේවාවන් සපයන විශිෂ්ඨතම ආයතනය විම."
 අපගේ මෙහෙවර
"රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුතු කාර්යක්ෂම, තිරසාර, සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුළින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම."            

 

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටීම

මොණරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11න් එකක් වන වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය, මුහුදු මට්ට‍මේ සිට මී. 190ක් උසින් පිහිටා ඇත. තවද ග්‍රාම නිලධාරි වසම් 29කින් සමන්විත වන මෙහි වාර්ෂික වර්ෂාපතනය මි.මී. 1600ක් පමණ වන අතර වාර්ෂික උෂ්ණත්වය 20-30 C◦ අතර අගයක් ගනි. වර්ග කි.මී. 598ක විශාලත්වයකින් යුතු මෙම කොට්ඨාශය නිරපේක්ෂ පිහිටිම අනුව උතුරු අක්ෂාංශ 6◦26’45” ත් 6◦26’50” හා නැගෙනහිර දේශාංශ 81◦01’ ත් 81◦14’30” අතර පිහිටා ඇත. සාපේක්ෂ පිහිටිම අනුව උතුරින් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා බදුල්ල දිස්ත්‍රික්කයත්, නැගෙනහිරින් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයත්, දකුණින් තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනුත් මායිම් වේ. තවද මෙම කොට්ඨාශය බුත්තල, බදුල්ල, හපු‍තලේ, කතරගම හා තිඹෝලකැටිය යන 1: 50000 මෙට්‍රික් සිතියම්වලින් ආවරණය වේ.

උතුරින් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උස්කදු පන්තිය අතරින් ගලා බසිනා කිරිදිඔය, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හරහා දකුණට ගලා බසිමින් වැව් අමුණු රාශියක් ස්වයං පෝෂිත කරමින් කිරින්ද පෙදෙසින් මුහුදට ගලා බසී.

ඉතිහාසයේ වෙල්ලස්ස යන නමින් හදුන්වන මෙම දිස්ත්‍රික්කය තුල වැල්ලවාය ප්‍රදේශයේ කුඹුරු විශාල සංඛ්‍යාවක් වගා කරන අතර ගම්මිරිස්, රබර්, කුරුදු, පොල් යන වානිජ බෝග වගාවන්ද සිදුකරයි. එමෙන්ම උක් වගාව, කෙසෙල් වගාව, රටකජු වගාව තුලින් තවදුරටත් ජන ජීවිතය ශක්තිමත් කරයි.

කෘෂි කාර්මික වශයෙන් මිශ්‍ර භෝග රටාවක් පෙන්නුම් කලද පැල්වත්ත සීනි සමාගමට බාහිරව උක් සපයන ප්‍රධාන ප්‍රදේශය ලෙස මෙය සැලක

 

 

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඓතිහාසික පසුබිම

පෞඩ වූ ඉතිහාසයකට උරුමකම් කියන වැල්ලවාය කෝරළය ඌව පළාතේ කදුකර පහත් ප්‍ර‍දේශයේ පිහිටා ඇති සුන්දර ප්‍රදේශයකි. උතුරින් මොණරාගලත් බස්නාහිරින් අයිස්පීල්ල ප්‍රදේශයත් වැල්ලවාය කෝරළයේ සීමා වශයෙන් දැක්විය හැකිය. ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම ප්‍රදේශයේ ඉතිහාසය ආර්යයන් පැමිණි කාලය දක්වා විහිදී යයි. කිරිදිඔය අසබඩ වාසස්ථාන පිහිටුවා ගනිමින් කෘෂිකර්මාන්තයේ යෙදුන බවට ඓතිහාසික මූලාශ්‍ර මගින් පැහැදිළි වෙයි.

වැල්ලවාය ග්‍රාම නාමය බිහිවිම සම්බන්ධව විවිධ මත හමුවෙයි. ලවන ආකරය ලේවාය වූවක් මෙන් වැලිතලා ඇති පෙදෙස වැල්ලවාය නමින් ප්‍රසිද්ධ වූ බව එක් මතයකි. තවද ජනප්‍රවාදවල වැල්ලවාය ග්‍රාම නාමය බිහිවීම සම්බන්ධව දැක්වෙන්නේ වැල්ල ලේවලින් තෙත් වූ නිසා වැල්ලේ -ලේවාය පසුව වැල්ලවාය නමින් ප්‍රසිද්ධ වූ බවයි. තවද මෙම ප්‍රදේශයේ පිහිටි කදුවැටි, පර්වත, ගංගා හා දේශගුණය ආදිය අනුව වැල්ලවාය කෝරළයේ ස්වභාව සෞන්දර්ය මෙන්ම ස්වාධිනත්වය සදහා මහත් පිටුබලයක් සපයයි.

මේ  ආකාර වූ ඉතිහාසයකට හිමිකම් කියන මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 29කින් හා ගම්මාන 143 කින් සමන්විත වන අතර වර්ග කිලෝ මිටර් 597.9 කින් සමන්විත භුමි ප්‍රදේශයක් තුල වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ව්‍යාප්තව ඇත.

 

 ජනගහන රැකීරක්ෂා ආදායම් පිළිබද තොරතුරු

ග්‍රාම නිලධාරි වසම් 29 කින් සමන්විත වූ වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුලු ජනගහනය 68283 ක් වන අතර මුලු පවුල් සංඛ්‍යාව 20617කි. මෙහි ජනගහනය ස්ත්‍රි පුරුෂ වශයෙන් ගත්කල ස්ත්‍රි ජනගහනය  36557 වන අතර පුරුෂ ජනගහනය 36111  ක් වේ. මෙම ජනගහනය ජාතින් හා ආගම් අනුව ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් ව්‍යාප්ත වී ඇති අතර , පොදුවේ ගත්කල ජාතීන් අනුව  සිංහල 70235 ද ශ්‍රී ලංකා දෙමළ 648ද, මුස්ලිම් 1106ද  වෙනත් 679 ක් වශයෙනුත් ආගම් අනුව ගත්කල බෞද්ධ 69997ද, හින්දු 393ද, ඉස්ලාම් 1695ද ක්‍රිස්තියානි 510 ද රෝමානු කතෝලික 63 ක් වශයෙනි.

කොට්ඨාශයේ සේවා නියුක්ති ජනගහනය 21997 ක් හා සේවා වියුක්ති ජනගහනය 18916ක් වේ. තවද කොට්ඨාශයේ ජනගහන වයස් කාණ්ඩ අනුව ගත් කල අවුරුදු 5 ට අඩු  7050ක්ද , අවුරුදු 6 ත් 12ත් අතර 9370 ක්ද 12 ත් 18ත් අතර 9624 ක්ද 19 ත් 35 ත් අතර 17088 ක්ද 36 ත් 55 ත් අතර 18467 ක්ද 55 ත්70 ත් අතර 8753 ක්ද 70 ට වැඩි 2316කින් ද සමන්විත වේ.

ජන ඝනත්වය ගත්කල වර්ග කිලෝ මීටර් එකකට 177 උපරිමය වශයෙන් හදුනාගත හැක. එමෙන්ම මෙම කොට්ඨාශයේ බහුතර පිරිසකගේ ජීවනෝපාය මාර්ගය කෘෂි කර්මාන්තය වන අතර, ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේද කෘෂි කර්මාන්තයයි. ඒ අනුව ආදායම් බෙදීගොස් ඇති ආකාරය විග්‍රහ කිරිමේදි අඩුම ආදායම් ලාභි පවුල් ලෙස සලකන රු 4380 ට අඩු මාසික ආදායම්ලාභි පවුල් 5541 ක් සිටින අතර රු 50000 ට වැඩි ආදායම්ලාභි පවුල් 599 ක් හදුනාගත හැකිය. එමෙන්ම රු 5001-10000 අතර 7289ද රු 10001-20000අතර 4852ද රු 20001-50000අතර 3631ක පවුල් සංඛ්‍යාවක් ග්‍රාම නිලධාරි වර්තා අනුව හදුනාගත හැකිය

තවද  කොට්ඨාශයේ ආංශික වශයෙන් රැකියා නියුක්ත වූවන්ගේ තත්වය සලකා බැලීමේදි කෘෂිකාර්මික අංශයෙහි 14812 ක් ද කිසියම් රැකියාවකින් ආදායම් උපයන පිරිස 19596කි ද, වෙළදාම හරහා තම ජිවනෝපාය සර්කර ගන්නා පිරිස 1199 ක්ද, වෙනත් සේවා සැපයිම මගින් අදායම් උපයන්නන් 8045 ක් හා රජය මගින් ලබා දෙන සමෘද්ධි ආධාර හරහා ජිවනෝපාය සවිකර ගන්නා පිරිස 6637 ක් ලෙස හදුනාගත හැකිය.

 

 

සමාජ සේවා කටයුතු

‍            මෙම කොට්ඨාශය තුල ළමා හා  විකලාංග නිවාස ඇති අතර, මහජනාධාර හා පුනරුත්තාපන කටයුතු සමාජ සේවා කටයුතු වශයෙන් සිදුකරනු ලැබේ. ඒ අතරින් පුනරුත්තාපන කටයුතු වශයෙන් ආබාධිත වූවන් සදහා දැනුවත් කිරිමේ වැඩසටහන්, ණය වැඩසටහන් හා සහනාධාර වැඩසටහන් ස්වයංරැකියා සිදුකරන අතර දැනට කොට්ඨාශයේ හදුනාගත් විවිධ ආබාධ සහිත පුද්ගලයින් 1271 ප්‍රමාණයක් සිටින අතර, කාන්තාවන් 498 ක් ද පුරුෂ  ජනගහනය 773 ක් ද වේ.

කොට්ඨාශයේ හදුනා ගෙන ඇති ආබාධ සහිත පුද්ගලයන් සඳහා මේ වන විට ස්වයං රැකියා වැඩසටන් , මූල්‍යාධාර වැඩසටහන් වල ඵලදායිතාවයක් දක්නට ලැබෙන අතර, මෙම සපයනු ලබන සේවා ප්‍රමාණය තව දුරටත් පුළුල් කලහොත් ආබාධ සහිත පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල් වල‍ට මහත් පිටුවහලක් වන අතර ඔවුන්ගේ මානසික පීඩනයද අවම කිරිමට හැකියාව ලැබේ.

මෙම කොට්ඨාශයේ මහජනාධාර ලබන මුලු පවුල් සංඛ්‍යාව සාමානයෙන් ....ක ප්‍රමාණ යකි. තවද 2017වර්ෂය තුල විවිධ සහනාධාර (රෝග සදහා) ගෙවන ලද පුද්ගලයන් ....කි.

මැදපෙරදිග හෝ විදේශ සේවයේ නියුක්ත පුද්ගලයන් ගත්කල 438 ක ප්‍රමාණයක කාන්තාවන් විදේශගතවීම ආර්ථික වශයෙන් වාසිදායක තත්වයක් වුවද ඔවුන්ගේ පවුල් පසුබිම අවිධිමත් විමේ වැඩි ප්‍රවනතාවයක් දක්නට ලැබීම අසතුටුදායක තත්වයකි. මෙම තත්වය අවම මට්ටමට ගෙන ඒමට මෙසේ විදේශ ගතවන කාන්තාවන් විදේශ ගතවීමට පළමුව මේ සම්බන්ධයෙන් මනා දැනුවත් කිරිමේ ක්‍රම වේදයක් සකස් කිරිම ඉතා යෝග්‍ය වේ.

     
     
     
     
     
     
     
     
     
     
     
     
     

News & Events

Scroll To Top